Posted by: sinhale | February 8, 2012
දෙවියන් පරයා “කාක්කන්” රජයන කතරගම
භානුක විජේ රත්නායක විසිනි.
“බැතිමතුන් දුරකතර ගෙවා කතරගම යන්නේ අසීමිත භක්තියකින් යුතුව දෙවියන් වන්දනාමාන කිරීමට මිස වෙළෙන්දන්ගේ කූට උපක්‍රමවලට හසුවීමට නොවේ. එළෙස පැමිණෙන බැතිමතුන් මෙලෙස සිත්සේ සූරාගෙන කෑමට සකල විධ කාක්කන්ට දෙවියන්ගේ අඩවියේදීම ඉඩ ලැබෙන්නේ නම් එය නුදුරේදීම ඔදැති තෙදැති කතරගම දෙවියන්ගේ ආනුභාවයට මෙන්ම දෙවියන් පිළිබදව බැතිමතුන්ගේ තිබෙන අසීමිත විශ්වාසයට බරපතල අභියෝගයක් වන බව නම් කිවයුතුමය.”
කාක්කන් වර්ග කීපයක් ඇත. ඒ ප්‍රධාන වශයෙන් “කොළඹ කාක්කන්” හා “ගමේ කාක්කන්” වශයෙනි. අතීතයේදී නරියාගේ වර්ණනාවට රැවටුනු ගමේ කාක්කෙකු ගැනද වර්තමානයේදී නරි උගුලට හසුනොවුනු කොළඹ කාක්කෙකු ගැනද අප අසා ඇත්තෙමු. කලු කපුටා සුදු වනතුරු බලා සිටියේ පුරාණයේදීය. දැන් දැන් සුදු කපුටන් ගැනද නිතර ජනමාධ්‍ය වලින් අසන්නට දකින්නට ලැබේ.
අනිකුත් පක්ෂීන් හා සන්සන්දනයේදී කාක්කා ස්වභාවයෙන්ම තරමක් කපටි කෛරාටික පක්ෂියෙකි. තියුණු ඇසකින් යුත් ජරාව කෑමට බෙහෙවින් ගිජු පක්ෂියෙකි. මේනිසාම කපටි කෛරාටික මුදලට ගිජු මිනිසුන්ටද “කාක්කා” යන නාමය බහුලව භාවිතා කෙරේ. මොවුන්ද කොළඹ කාක්කන් හා ගමේ කාක්කන් ලෙසට දෙකොටසකට බෙදේ. මින් කොළඹ කාක්කන් කොළඹ නගරය මූලික කරගෙනද ගමේ කපුටන් ඈත එපිට ගම්මානවලද ඉදහිට දක්නට ලැබේ.
කොළඹ කාක්කන් ගැන නිතර අසන්නට දකින්නට ලැබුනද ගමේ කපුටන් ගැන අසන්නට ලැබෙන්නේ කලාතුරකිනි. සම්මතය පරිදි ගමේ කපුටන්ට වඩා කොළඹ කපුටෝ බෙහෙවින්ම වෘත්තීය සුදුසුකම් වලින් හා පළපුරුද්දෙන් පිරි අති දක්ෂයින් බවට පළිගැනීමක්ද ඇත. නමුත් කොළඹ කපුටන් කොළඹින් කි.මි. 300 කටත් වඩා එපිට පිහිටි ගම් දනව් ආක්‍රමණය කර ඇති බව හෝ ගම් කපුටන්ද කොළඹ කපුටන් හා කරට කර තම වෘත්තියේ නියලෙන බවට මෙම ලිපියෙන් මනාව පැහැදිලි වනු ඇත.
මීට මාස කීපයකට පෙර අප පවුලේ ඥාතීන් පිරිසක් වෑන් රථයකින් කතරගම ගිය අතර අවසන් වරට 1970 මහ මැතිවරණයට පසුදා කතරගම ගිය මමද වසර 41 කට පෙර කතරගම ගැන මගේ මතකය වර්තමාණය හා සන්සන්දනය කරනු වස් ඔවුනට එක්විය.
දක්ශිණ අධිවේගී මාර්ගය ගමනාගමනයට විවෘත නොවුනු එම වකවානුවේදී අපගේ ගමන්මාර්ගය වූයේ කොළඹ මාතර හරහා කතරගම දක්වා වූ මාර්ගයයි. මාතර පොල්හේන වෙරළේදී ස්නානය කර මාතර නගරයෙන් දහවල සප්පායම් වූ අප තංගල්ල, හම්බන්තොට හා තිස්සමහාරාමය හරහා කතරගමට ලගා වන විට රාත්‍රිය එළඹ තිබිනි. එදින සෙනසුරාදාවක් වූ අතර අති විශාල ජනකායක් ඒ වනවිටත් කතරගම නගරයේ දක්නට ලැබිනි.
කතරගම මහ දේවාලය සීමාව පිටුපස පිහිටි කතරගම නව විශ්‍රාම ශාලාව ආසන්නයේ පිහිටි එක්තරා රජයේ දෙපාර්තමෙන්තුවක නිවාඩු නිකේතනයක් අපගේ තෙදින සංචාරයේ නවාතැන්පල විය.
මීට පර අප කිසිවෙකුත් එහි නවාතැන් නොගෙන තිබූ බැවින් ලැබී තිබුනු මාර්ග විස්තර හා ලිපිනය මගින් එය සොයා ගැනීම සදහා පලමු පියවර තැබුවේ මහ දේවාලය අවට පවත්වාගෙන යනු ලබන පුජා වට්ටි වෙලෙන්දන්ගෙන් විමසීමෙනි. මෙහිදී එම නිවාඩු නිකේතනය පිහිටි පාරේ නම අප පැහැදිලිව පවසා සිටි අතර ඔවුන් පැවසූවේ එම පාර අප පසුකර පැමිණි බවකි. එබසට අවනත වූ අප ඉතා අපහසුවෙන් මහා ජනකාය අතරින් අපගේ වාහනය හරවා ගෙන ආපස්සට ගමන්කර නවාතැන්පල ගැන හෝඩුවාවක් නොවූයෙන් නැවතත් වරක් මහ දේවාලය අසලට එන අතරතුර මාර්ගයේ රැදීසිටි යතුරු පැදි කරුවෙකුගෙන්ද විමසීය. ඔහුද පැවසූයේ එවැන්නක් නොදන්නා බවයි. අපේ වාහනය දේවාලය අසල නවතා අප කීපදෙනෙකු වාහනයෙන් බැස්සේ සෝදිසි මෙහෙයුමක් දියත් කිරීමටයි. ඒ මොහොතේම අප අසලට පැමීණි යතුරුපැදිකරුවෙකු “කාමර” අවශ්‍යදැයි විමසීය. මොවුන්ගෙන් අපගේ නිවාඩු නිකේතනය ගැන විමසීම තවදුරටත් “හොරාගේ අම්මාගෙන් පේන ඇසීමක්” බව පසක් කරගත් අප මාර්ගයේ සිටි පොලිස් නිලධාරියෙකුගෙන් විමසීය. ඔහු පැවසූයේ පූජා වට්ටි වෙලෙන්දන් “කාමර” කුලියට දීම ජයටම කරන බවත් යතුරුපැදිකරුවන් ඔවුන්ගේ තැරැව්කරුවන් නිසා ඒ දෙගොල්ලන්ම උත්සාහ කරනුයේ ආගන්තුකයින් “අන්දවා” ඔවුන්ගේ “ගුබ්බෑයම්වලට” රැගෙන යාම බවයි.
අවසානයේදී එම පොලිස් නිලධාරියාගේ පිහිටෙන් අපගේ නවාතැන්පල සොයාගත් අතර එය අප මුලින්ම පූජාවට්ටි වෙළෙන්දන්‍ගෙන් නවාතැන්පල ගැන විමසූ ස්ථානයේ සිට මීටර් 100 කටත් වඩා අඩු දුරකින් පිහිටි බව පසුව අපට වැටහිනි. කාමර කාක්කන්ගෙන් අපව බේරාගත් ඒ පොලිස් නිලධාරියාට පින් .
පසුදිනට පහන්විය. කොහොඹ හා සිඔලා ගස් සරුවට වැඩී තිබුනු අප නිවාඩු නිකේතන භූමියේ වදුරන්ගේ පාරාදිසයක් බව දැනගත්තේ හොදින් වැඩුනු වදුරු රංචුවක් නිවාඩු නිකේතනයේ ඉදිරිපස තාප්පයේ එක පෙළට වාඩිවී සිටිනු දැකීමෙනි. අපේ කන්ඩායමේ පොඩි ළමයින්ද සිටි අතර ඔවුන් වදුරන්ට කෙසෙල්ගෙඩි තරමක දුර සිට විසිකල අතර ඒවා බිම නොවැටෙන සේ හොදින් අල්ලා ගත් සැටිත් පසුව ලෙලි ගසා කෑ සැටිත් හොදින් මතකය. නිතර නිතර උඩ පන්දු අතහරින ක්‍රිකට් ක්‍රීඩකයින්ටත් අතට හසුවන සෑම දෙයක්ම ඉවක් බවක් නැතිව කටේ ඔබා ගන්නා අපේ සමහර උදවියටත් මේ වදුරන්ගෙන් උගත හැකි පාඩම් බොහෝය, කල යුතු ප්‍රතිසංවිධාන එමටය.
“දෙවි පිහිට” පතා කතරගම පැමිණියද “බුදු සරණ” කිසිසේත් අමතක නොකල අපි ප්‍රථමයෙන්ම කිරි වෙහෙර නැමදීමටත් ඉන් පසුව මහ දේවාලයට යාමටත් ඉටා ගෙන නවාතැන් පලෙන් පිටත්වීමු. අපේ වෑන් රථය නතරවූයේ පූජාවට්ටි කඩ ඉදිරිපස රථ ගාලකය. එහි එක් එක් ප්‍රදේශ එක් එක් කඩවලට වෙන්වී ඇති බව දැනගත්තේ අපේ රථය එහි නවතාලීමට ස්වේඡාවෙන් සහයවූවෙකු අපව එක්තරා පූජාවට්ටි කඩයකට රැගෙන යාම නිසාවෙනි. පූජාවට්ටිවල මිළ ගනන් පිළිබද නිවැරදි තක්සේරුවක් අපට නොවූයෙන් සදා නිමකල පූජාවට්ටියක් දැක බලා ගැනීමේ අරමුණෙන් අපි එම කඩයට එබිකම් කෙළෙමු. සදා නිමකල පූජා වට්ටි වෙනුවට එහි වූයේ පලතුරු වර්ග කීපයක් ඇතිරූ ලෑල්ලක් හා එහි ප්‍රතිබිමභය මනා ලෙස පරාවර්තනය වීමට ඇටවූ විශාල ප්‍රමාණයේ කන්නාඩියකි. මේ උපක්‍රමය මගින් ලෑල්ලේ ඇති පලතුරු සොච්චම කීප ගුණයකින් වැඩිවී පෙනේ.
මේ අතර කඩය තුළින් එළියට පැමිණි එහි හිමිකාරිනිය යැයි සැක කර හැකි කාල වර්ණ දේහයකින් යුත් හැඩි දැඩි කාන්තාවකගෙන් අපි පූජා වට්ටිවල මිල ගනන් විමසීමු. ඇය එයට ප්‍රතිචාර දැක්වූයේ කෙඩ් පසෙක වූ මිළ දර්ශණය පෙන්වීමෙනි. එහි රු. 250.00 සිට රු. 2000.00 දක්වා මිළ ප්‍රදර්ශණය කර ඇත. “ගෙඩි පූජා වට්ටියේ” පලතුරු වර්ග 5 ක් ගෙඩි පිටින් තිබෙන බවත් දේවාලයේ “ප්‍රධාන තිරයෙන්” පසුපසට ගනු ලබන්නේ ගෙඩි පූජාවට්ටි පමණක් බවත් ඇය අපට පැවසු හෙයින් එකක් රු. 750.00 ක මිලෙන් යුත් “ගෙඩි පූජාවට්ටි” තුනක් සදහා අප ඇනවුම් කර මුලු මුදලම ගෙවීමු. කිරිවෙහෙර නැමදීෙමන් පසුව ඇය විසින් දුන් දුරකථන අංකයට ඇමතුමක් ලබාදුන් පසුව පූජා වට්ටි තුනම දේවාලය ඉදිරිපසට තම ගෝලයෙකු අත එවන බවද පැවසීය. එමනිසා අපි කිරි වෙහෙර වන්දනාවට සැහැල්ලු සිතින් පිටත්වීමු.
මගේ අවුරුදු 41 ක මතකය නැවත වරක් ආවර්ජනය කරන්නට වූයේ මෙතැන් සිටය. මා කුඩා කාලයේ 1970දි කතරගම ගිය විට මැණික් ගගට යන මාර්ගයේ දෙපස පබලු මාල සදන්නන්ගේ කුඩා කඩ බහුලව තිබූ බවද ඔවුන් සියල්ලන්ම පාහේ ද්‍රවිඩයින් බවද මට තවම මතකය. ඔවුන් අප සමග කතා කරන ගමන්ම පබළු හා කමිබි යොදා අගනා මාල සැදූ බව මගේ මතකයේ තවමත් රැදී ඇත. ඔවුන්ගේ කඩ පේලි පසුකර ගිය පසු හමුවන්නේ මැණික් ගගට අවතීර්ණ වන පිය ගැට පෙළයි. එකී පිය ගැට පෙළ බැස මැණික් ගගෙන් දිය නා පිරිසිදුව කිරිවෙහෙරට හා දේවාලයට ගිය බව තවමත් හොදින් මතකය.
එහෙත් අද තත්ත්වය බොහෝ සෙයින් වෙනස් වී ඇත. මැණික් ගග දෙපස පබළු මාල විකුණූ කඩ අද එහි නැත. හිටපු ජනාධිපතිවරයෙකුවූ ප්‍රේමදාස විසින් කතරගම පූජා නගර ප්‍රතිසංස්කරණය යටතේ එම කඩ සියල්ල කඩා ඉවත්කර ඇත. මැණික් ගගට බසින පිය ගැට පෙළ පමණක් එළෙසින්ම ඉතිරිව ඇත. අතීතයේදී කෙසේවුවද අද මැණික් ගගෙන් දිය නෑම ජල මූලික අතිශය භයානක රෝගයන්ට අත වැනීමක් බව නම් පැහැදිළිය. එතරම්ම මැණික් ගග අද අපිරිසිදු වී ඇත.
එමනිසා අප ඉපැරණි පිළිවෙතින් බැහැරව පාලම ඔස්සේ ගොස් කතරගම දේවාලය පසුකරමින් කිරිවෙහෙරට පිය මැන්නෙමු. මහ දේවාලයේ තොරණද දේවාලයේ පිටස්තර පෙනුමද කිසිදු වෙනසකට ලක්වී නොමැති සේය. නමුත් පරිවාර දේවාල කීපයක් ඊට පසුපසින් එක්වී ඇති සෙයකි.
දේවාලය පසුකර අප කිරිවෙහෙර සීමාවට ඇතුළුවිය. එහි දකුණු පසින් සුදු පිරියම් කල ගොඩනැගිල්ලකි. “පළතුරු බීම” යනුවෙන් එහි පුවරුවක් සවිකර ඇත. නිකුත් කිරීම සදහා කවුන්ටරයක්ද ඇත. නමුත් කවුන්ටරය ලගකදී විවෘත කල බවක් හෝ “පළතුරු බීම” නිකුත් කරත බවක් නම් පෙනෙන්නට නැත. නමුත් මහ දේවාලයේ සිට විශාල ප්‍රමාණයේ වට්ටිවලින් පූජාවට තැබූ පළතුරු මෙම ස්ථානයට පස්සා දොරින් ඇතුළුවූ බව නම් අප හොදින් දුටුවෙමු. මෙම පළතුරු වලින් පළතුරු බීම සාදා නොමිලේ බැතිමතුන්ට බෙදා දීම සදහා මෙම ස්ථානය ඉදිවුනද එය දැන් සිදු නොවන බව පසුව අපට දැනගන්නට ලැබිනි. එමනිසා දේවාලයෙන් මෙතැනට ගෙනඑනු ලබන පළතුරු නැවත වරක් පූජා වට්ටි කඩවලට යනවාදැයි සාධාරන සැකයක් අපට ඇතිවිය.
අප මෙම ස්ථානය පසුකරමින් යෑමට හැකිවූයේ කෙටි දුරකි. නොනවත්වා නැගෙන කඨෝර විලාපයක් නිසා විමසිලිමත් වීමු. වෙනත් ලෙසකින් කියන්නේ නම් එකම “මර ලතෝනියකි”. මගේ මතකය නැවතත් අතීතයට දිව ගියේය. එදා මේ මග දෙපස තුරු සෙවනේ සිටියේ යාචකයින්ය. ඔවුන්ගේ යැදිල්ලද මේතරම් ලතෝනියක් නොවූබව නම් කිව යුතුමය.
මේ විලාපය නගන්නේ කිරිවෙහෙර මග පෙස නෙළුම් මල් හා පොල් තෙල් විකුණන අම්මන්ඩිලාය. පූජා භූමියේ නිස්කලංක බව පවා පළුදු වන අයුරින් උස් හඩින් කෑමොර දෙමින් කරන මෙම වෙළදාම කුමණ විකුණුම්කරණ ප්‍රථිපත්තියකට අනූකූළදැයි අපි නොදනිමු.
නෙළුම් මලක හා පොල්තෙල් වල (ප්‍රමාණය අනුව) මිළ නියම කර ඇත. ඒවා සුපර් මාකට් මිළකි. මන්ද මිළ සම්බන්දයෙන් ගනුදෙනුකරුට කේවල් කිරීමේ බලයක් කොහෙත්ම නැත. අපිදු ඔවුන්ගෙන් මල් හා තෙල් මිළදී ගත්තෙමු. එසේ රැගෙන ගිය තෙල් කිරිවෙහෙරට මෙපිටින් වූ පහන් වැටි වලට වත්කරද්දී පහන්වලින් උතුරා යන තෙල් බෝතල් වලට එකතුකරන ළමයින් දෙතුන්දෙනෙකු ඇස ගැසුන අතර ආපසු ගමනේදී ඔවුන් තෙල් වෙළෙන්දියන් අසළ ගැවසෙනු දුටුවෙන් තෙල් වෙළෙන්දියන්ගේ වෙළදාමේ “සාධාරනත්වය” ඉන් මොනවට පැහැදිළිවිය.
කතරගමදී “කාමර” කාක්කන්ගෙන් ගැලවුනද “තෙල් කාක්කියන්ට” අප මෙළෙස හසුවිය.
කිරිවෙහෙර වන්දනාමාන කිරීමෙන් අනතුරුව ගිවිසගත් පරිදි පූජාවට්ටි කඩයට ඇමතුමක් දුන් අතර අපගේ පූජාවට්ටි තුනම නියමිත පරිදි ගෝලයෙකු විසින් රැගෙනවිත් තිබිනි. “පඩූරු හොදින් පෙනෙන සේ පූජා වට්ටියේ තියන්න” යනුවෙන් ඔහුගෙන් උපදෙසක්ද ලැබිනි. අනතුරුව ඔහුගේ මහන්සිය විමසා සිටීමේදී රු.300.00 අවශ්‍ය බව පැවසීය. ගාස්තුව කේවල් කිරීමට උත්සාහ කලා පමණි. මහුගේ මුවින් පිටවූයේ තවත් එක් ලතෝනියකි. දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොළඹ සිට ගාල්ලටම රු.300.00 කට සුඛෝපබෝගී බස් ධාවනයට යෝජනා ඉදිරිපත් වී ඇති මේ වකවානුවේදී පූජාවට්ටි කඩේ සිට දේවාලය දක්වා මීටර් 50 කටත් අඩු දුරක් සදහා අපිට රු.300.00 ගෙවීමට සිදුවිය. මොහුද එක් කාක්කෙකි අප හසුවුනු.
දේවාලයට පූජා වට්ටි පූජා කිරීමේදී අපේ “ගෙඩි පූජා” වට්ටිද ප්‍රධාන තිරයෙන් පසුපසට නොගෙන ඊට ඉදිරියෙන් දේවාලයේ වම්පස එල්ලා තිබූ තිරයෙන් පිටපසට ගෙන ක්ෂණයකින් නැවතත් අපට අපේ කොටස ලැබිනි. එසේ ලැබුනු පළතුරු කොටස භුක්තිවිදීමේදී වට්ටියේ පළතුරු වර්ග 5 ක් නොතිබුනු බවත් තිබූ පළතුරු අඩ දෙගුණකර මිළ කිරීමේදී අපි “පූජා වට්ටි” කාක්කන්ටද හසුවී ඇති බව පසක් විය.
මහ දේවාලයේ සිට මහ මගට පිවිසි අප එහි වූ තොරොම්බල් කඩයකට ගොඩවීමු. අතීතයේදී රූපයට රූපයක් භාරවූවන්ට තඹපත්වල කෙටූ ගැහැණු පිරිමි රූප මෙවැනි කඩවල විකිණීමට තිබිනි. දැන් ඒ වෙනුවට බඩ මහත “ලාෆින් බුද්ධලා” එක් එක් ප්‍රමාණවලින් විකිණිමට ඇත. ක්ෂණිකව මාල අමුණා විකුණූ කඩ නැත. අද ඒ මාල වෙනුවට ඉන්දියාවෙන් ආනයනය කරන ලද මාල තොග ගණනින් ඇත. ඊට අමතරව අතේ පළදින එක් එක් වර්ණවලින් හා මාදිලිවලින් යුත් නූල් වර්ග රාශියක්ද දක්නට ඇත. මේ සියල්ල ඉන්දියාවෙනි. “සීපා” ගිවිසුම නිල වශයෙන් අත්සන් නොකලද නොනිල මට්ටමින් ඉන්දියානු භාන්ඩ අපේ ඈත එපිට ග්‍රාමීය වෙළදපල පවා තදින් ආක්‍රමණය කර ඇති බවට කතරගම හොද නිදසුනකි.
ඉන්පසු අප සෙල්ලකතරගම බලා පිටත් විය. ප්‍රසිද්ධ සෙල්ල පාර දෙපස අඩියෙන් අඩිය ලැගුම්හල් විශාල ප්‍රමාණයකි. මින් බහුතරය කතරගම දෙවියන්ගේ ආවතේවකරුවන් සතු බවද සැළවිනි.
සෙල්ල කතරගම පිළිබද මගේ දැඩි මතකයක් නොවූවද මැනික් ගග දිගේ ගොස් ගල් තලාවන් පසුකරමින් සෙල්ලකතරගම දේවාලයට පැමීනි බව යන්තමින් මතකය.
අද තත්වය හාත්පසින් වෙනස්ය. වෑන් රථයෙන් බැස අප ඇතුළුවූයේ දෙපස රස කැවිලි හා තොරොම්බල් කඩවලින් ගහන කුඩා අඩි පාරකටය. එම පාර කඩ හිමියන් විසින් ආක්‍රමණය කරඇති බව හොදින් පෙනේ. එම කඩ පෙළ පසු කරන තෙක්ම “දොදොල්” කන්න යැයි “තොදොල්” වෙමින් ඇරයුම් කරන රසකැවිලි වෙළෙන්දියන්ගෙන් ගැලවීමක් නැත.
ඔවුන්ගෙන් බේරී මැනික් ගං ඉවුරට පියමං කරද්දී ඇසුනේ තවත් විලාපයකි. ඒ එළගිතෙල් පහන් විකුණන වෙළෙන්දියන්ගේ කන්දොස්කිරියාවයි. එකක් රූ.20.00 අලවිකරන එම පහණින් සෙනසුරු අපල උපද්‍රව දුරුවන බවට ඔවුන් සපථ කරති. ඒ සෙනසුරු ඒරාශ්ඨකයෙන් ගැලවුනු අපි දෙවොල අසල ඉදිකර ඇති චෛත්‍යයට මල් පුදා අනතුරුව දේවාලයට පඩුරු ඔප්පු කළහ. ආපසු ගමනේදී ගං ඉවුරට උඩින් තවත් තොරොම්බල් කඩ වීදියක්ම ඉදිකර තිබෙන අයුරුද ඒවායින් පිටවන අපවිත්‍ර ජලය රැගත් කානු සියල්ලම ගගට හරවා තිබෙනුද දැකගතිමු.
පසුදින උදෑසන අප සියළුදෙනා කොළඹ පැමිණිමට සූදානම් වන අතරේ අපගේ නිවාඩු නිකේතණයට පැමිණියේ කළු දොදොල් විකුණන්නෙකි. යතුරු පැදියක කළු දොදොල් පෙට්ටියක් බැදගෙන ආ ඔහුගෙන් පුවක් කොලේ බැදපු කළුදොදොල් මුල් තිබේදැයි විමසූයේ මට අතීතය සිහිවීමෙනි. එවැනි කළුදොදොල් මුල්වල රටාවකට දිග් අතට ඉරි වැටී තිබෙනු මට තවමත් හොදින් මතකය. එදා “කළුදොදොල් මුල්” අද “පෙට්ටි කළුදොදොල්” බවට පත්වී ඇත.
වෙනත් වෙළෙන්දෙකුගෙන් මිල සංසන්දනය කිරීමට කල් නොතිබූ බැවින් අපි සියළු දෙනා ඔහුගෙන් කළුදොදොල් මිළදී ගත්තෙමු. ඔහු විසින් අපට කෑමට දුන් කළුදොදොල් සාම්පල්වල හා මිලදී ගත් කළුදොදොල්වල වෙනස අපට වැටහුනේ තංගල්ලද පසුකරමින් කොළඹ එන අතරමගදී තේ බීමට කඩපලක නැවැත්වූ මොහොතේදීය.
මීට අමතරව දොදොල් වෙළෙන්දන් හා නිවාඩු නිකේතන භාරකරුවන් අතර සම්බන්ධයක් පවතින බවත් කෙරුණු වෙළදාමේ හැටියට නිවාඩු නිකේතන භාරකරුට “ ගාන කැපෙන” බව දැනගත්තේ කොළඹට පැමිණි පසුය. අවසානයේදී අපි “දොදොල්” කාක්කාටද හසුවූ බව පෙනේ.
බැතිමතුන් දුරකතර ගෙවා කතරගම යන්නේ අසීමිත භක්තියකින් යුතුව දෙවියන් වන්දනාමාන කිරීමට මිස වොළන්දන්ගේ කූට උපක්‍රමවලට හසුවීමට නොවේ. එළෙස පැමිණෙන බැතිමතුන් මෙලෙස සිත්සේ සූරාගෙන කෑමට සකල විධ කාක්කන්ට දෙවියන්ගේ අඩවියේදීම ඉඩ ලැබෙන්නේ නම් එය නුදුරේදීම ඔදැති තෙදැති කතරගම දෙවියන්ගේ ආනුභාවයට මෙන්ම දෙවියන් පිළිබදව බැතිමතුන්ගේ තිබෙන අසීමිත විශ්වාසයට බරපතල අභියෝගයක් වන බව නම් කිවයුතුමය.
තවද, මෙහිදී අපගේ ඉපැරණි කියමණක් මගේ මතකයට නිතැතින්ම නැගේ. “දැන ගෙන ගියොත් කතරගම – නොදැන ගියොත් අතරමග”. මෙය පුරාණයේ කතරගම යෑමට තිබූ ප්‍රවාහන අපහසුකම් හා අති දුෂ්කර ගමන් මාර්ගය ගැන පදනම්ව බිහිවූ කියමනකි. අද එවැනි ප්‍රවාහන අපහසුකම් හා ගමන් මාර්ග දුෂ්කරතාවයන් නැතත් මෙම කියමන අදටත් ෙහාදින් ගැලපෙන බව මගේ විශ්වාසයයි. එපමණක් නොව මෙකී කාක්කන්ගේ ග්‍රහනයෙන් කතරගම පුදබිම ගලවා ගැනීමට කතරගම දෙවියන් හෝ අදාළ ප්‍රාදේශීය බලධාරීන් ක්‍රියා නොකරන්නේ නම් එම කියමන අනාගතයටද එකසේ ගැලපෙනු ඇත.
Like this:
Be the first to like this post.
Fully agree with the contents of this article. I too had the similar experience at Kataragama few years ago. Kataragama is now a commercialized city than a sacred city.
Though money is not everything, at Kataragama everything is for money. Only the breathing air is exempted.
Former Basnayake Nilame and Chairman of Yashodha Group Mr. Yasasiri Kasthuriarachchi only commenced the distributing fruit juice free of charge
among the devotees when he was in command. The relevant building at the main entrance of the “Kiri Vehera” too was built at that time and after his term, everything was stopped.
By: Lakruwan Wimalaweera on February 8, 2012
at 12:12 pm
නත්ථිමේ සරණං අඥඥං – බුද්ධෝ මේ සරණං වරං
By: Saman Kumara on February 8, 2012
at 12:26 pm
This writer has done a commendable job.
It seems he has spent 2-3 days at kataragama to collect all these details. No need to travel far away. Just visit Devala at Bellanwila. Same thing is happening there also. Good trade links between Devala Kapowo and the venders doing business on the other side of the road.
By: J.C.Appuhamy on February 8, 2012
at 4:35 pm
මට මතකයි බොහොම ඉස්සර බෙල්ලන්විල දේවාලේ කපුවන්ව පෙන්නලා අපේ අම්මා කිව්වා ‘මුන්ගේ කකුල්වල කඩුවේගන් ඇවිල්ලා තියෙන්නේ දෙවියන් විකුණලා දෙවියන්ගේ දේවල් කන නිසා’ කියලා.
හැබැයි මට විශ්වාස මාර්ගයකින් දැනගන්න ලැබුණා දැන් කතරගම දෙයියෝ එහේ නෑ කියලා. මොකද නිතර දේශපාලනඥයන්ගේ යාම් ඊම් නිසා දේවාල භූමිය අශුද්ධ තැනක් වෙලාලු. දැන් දෙවියෝ ඉන්නේ හරියට ධර්මය පිළිපදින අයගේ හිසට උඩින්ලු. මා කියන්නේ හැබෑවක්ද බලන්න එක සුමානයක් පන්සිල් රකින්න. නිර්මාංශ වෙන්න. අපගේ හිස් දෙව් විමන් වේවා.
By: Thilaka Randeni on February 12, 2012
at 8:58 am
බෙල්ලන්විල දේවාලේ කපුවන්ගේ කකුල්වල අඩුතරමින් කඩුවේගන් හෝ තිබිල තියෙනව. නමුත් කතරගම කාක්කන්ට මොන හෙනයක්වත් නැහැ. ඒ ඔබ කිව් පරිදිම කතරගම දැන් දෙවියන් නැති නිසාම වෙන්නැති.
By: Deepal on February 12, 2012
at 9:34 pm
දෙවියන් පය ගහන්න බය තැන පෙරේතයෝ බඩ පිනුම් ගහනවලු!
මීට වසර ගනනාවකට පෙර කතරගම එක්තරා කපුවෙකුගේ ගෙයක් මංකොල්ලකෑමක් සිදුවුනා. එහෙදී කපුවා පොලීසියට කල පැමිනිල්ලට අනුව රත්තරං කිලෝ දෙක තුනක් හොරකම් කරල. හැබැයි පොලීසිය හෙව්වෙ නැහැ කපුවට කොහෙන්ද ඔච්චර රත්තරං කියල.
බැතිමතුන් දෙවියන්ට භාරවෙන රත්තරං වලට දෙවියන්ගේම පිහිටයි.
By: Kamal on February 13, 2012
at 2:11 pm
මේ කතාව කියෙව්වට පස්සේ මට හිතුනේ මෙහෙම දෙයක් ” දැන ගෙන ගියත් නොදැන ගියත් අතරමග”
මමත් හිතන්නේ කතරගම දෙවියෝ කතරගම කපුටන්ට භාරදීලා උන්වහන්සේ කතරගමින් චුතවෙලා කියලයි.
By: ජනක විජේවීර - තංගල්ල on February 24, 2012
at 9:35 pm